පාද නමස්කාරය
චතාරික කාලේ සිකුරුදා දවසක මට යාලුවෙක් මුණ ගැහුනා, මම ඇහැව්වා මචන් අද සිකුරාදා නේද පාද නමස්කාරයට යන්නේ නැද්ද කියලා, මගේ මිතුරා දුන්න උත්තරෙන් මම ගල් ගැහිලා ගියා.
මොනාද දන්නවද මට යාළුවා කිව්වේ,
"මචං තරහා වෙන්න එපා මම මෙහෙම කියනවට, මම කතෝලිකයෙක් තමයි, මම අපේ ආගම විවේචනය කරනවා කියල හිතන්න එපා, උඹ දන්නවද වැඩ කරන කම්කරුවාගේ ජිවිතේ හැම දවසක්ම පාද නමස්කාරයක් තමයි, මම හැමදාම වැඩට යන්න නැගිටින්නේ පාන්දර 3.30 ට , දවසට කිලෝමීටර් 6ක් විතර මම පයින් යනවා, බස් එකේ සල්ලි ඉතුරු කරගන්න ඕන නිසයි මම පයින් යන්නේ, ලෝබකමට නෙමේ මචං උදේට එ සල්ලි වලින් තමයි මම පාන් කාලක් කන්නේ, කෑමට කියල වෙනම සල්ලි තියා ගන්න විදිහක් නැහැ මචං, එහෙම කලොත් ළමයින්ට ස්කෝලේ යන්න දෙන්න සල්ලි නැතුව යනවා,
රස්සාවට ගියත් මචං මම ඉන්නේ A/C කාමර වල නෙමේ, මුළු දවසම අව්වක් වැස්සක් නැතුව කට්ට කනවා, දවල්ට කන්නෙත් පාන් කෑල්ලක් තමයි, සමහර දවස් වලට එකත් නැහැ, බත් එකක් ගෙදරින් අරන් ආවොත් එකත් කට්ටිය එක්ක බෙදාගෙන කනවා, බඩෙන් බාගෙට හරි කාලා අනිත් උන්ගේත් බඩ පුරෝනවා, ගෙදර ආවත් නිදා ගන්න බැහැ කොච්චර මහන්සි තිබුනත්, ළමයි වෙනුවෙන් උන්ට කතන්දර කියා කියා ඉන්නවා රෑ වෙනකන්,
එහම බලනකොට මට අමුතුවෙන් මර්දන ක්‍රියා කරන්න ඕන වෙන්නේ නැහැ මචං, මොකද මම හැමදාම මර්දන ක්‍රියා කරනවා, ඉතින් මට අමුතුවෙන් පාද නමස්කාරයේ යන්න ඕනේ නැහැ, මම දුක් විදින හැම තත්පරයක් පාසාම ජේසුට එක ඔප්පු කරනවා,
උඹ දන්නවද තව දෙයක්. ඔය චතාරික කාලේ පාද නමස්කාරය තියෙන්නේ සල්ලි කාරයන්ට. මොකද උන් හැම වෙලාවේම සැප ජිවිතනේ ගෙවන්නේ, අවුරුද්දට දවස් හතලියක් විතරයි උන්ට නිරාහාරව, මර්දන ක්‍රියා කරන්න තියෙන්නේ,
එහෙම බලනකොට අපි වගේ කම්කරුවන්ට අලුතෙන් චතාරිකෙට සුදානම් වෙන්න දෙයක් නැහැ නේද මචං, "
මගේ යාළුවා එහෙම කියල යන්න ගියත් මට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා ගියේ... මේ කතාව අහන ඔයාලගේ ජිවිතත් හැම දිනකම පාද නමස්කාරයක්ද කියල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.....